Tuesday, September 25, 2012

යුද්දෙට නැති පිරිත නිවන් දකින්නද?



යුද්දෙ ඉවරයි
දැන් නෑ බියක්
යුද බිමේ දෙසති
යුගාසන කවි බණක්
සුදුම සුදු සාදුලා දෙනමක්

පිරිත් නූල් බැඳන්
වෙඩි තියපු අත්වලින්
විරුවෝ ගසති ඝන්ටාරේ

යුද පුවත්
අහපු චැනල් එකේ
දාගෙන පිරිත්
දනෝ දෙති සාදුකාරේ

රජ්ජුරුවොත් අපේ
වෙච්චි බුදුන්ගේ පරපුරේ
බණ ඇහුවත් වෙඩි තිබ්බත්
ඇරෙනවා දොර නිවන්පුරේ

චණ්ඩාශෝකලා
දෙසන බණ ඇසී
බුදුවරු කලකිරී
ගිහින් ගිහිගෙට නික්මී!

Friday, August 3, 2012

සත්තිගුම්බ




එන්න
මේ පිරිත් පැන් ටික බොන්න
මෙන්න
මේ පුළුන් අපි ගානේ
සැතපෙන්න ඔබාගෙන කනේ

වෙඩි හඬ නොගෙන කනකට
වේදනා කෙඳිරිලි නෑසෙන්නට
සැතපෙන්න ඔබාගෙන කනේ
මෙන්න
මේ පුළුන් අපි ගානේ

හඳුනනවාද මේ ගිරව් ගී කියනා
දන්නවාද මේ ගී හඬ
එන්නේ කොහි සිටද කියා

අසපුවෙන් එන ගිරා ගී හඬද මේ
එසේ නැතිව
සිල් අරන්ද සොර මුල

Tuesday, June 5, 2012

හිරිමල් හිත - හිම සහ පෙම




දහවල ගිනිගෙන තිබුණා.


දෙපතුළත් හේමලයාගේ හිසත් අතර දුරක් නොතිබුණු තරම්.
දිය වන සියල්ල, දිය වන්නට ඔන්න මෙන්න තරමට උණුසුම්. කොල්ලුපිටිය දුම් දමමින් තිබුණා.
මම ගිනිකන වැටුණු ඇස් අමාරුවෙන් ඇරගෙන, මහා දවාලෙත් මගේ මංලකුණු තරුව සොයමින් උන්නා.
ඈ නමින් දෙකංසෙන් උපන් දහදිය බි‍ඳුවක් පවා මේ ගිනිගහන නගරය මැද්දේ මාව සිසිල් කළා.
සිහිලෙන් කිතිකවා හිරිවැට්ටවූවා.


ඒත්, දහවල තවමත් ගිනිගෙන තිබුණා.


දුම් දමන කොල්ලුපිටිය මගේ හිරිවැටුණු සියොළඟට පැරදුණා.
මුදුන් හිරු හිස්මුදුන නහවද්දී, මගේ සිත සීතලට තිබුණා.
කොන්ක්‍රීට් කණු දියවද්දී, මගේ ආලය නොසෙල්වී තිබුණා.
දහසකුත් එකක් ශරීර කොල්ලුපිටිය පසුකර යද්දී,
මමත් මගේ සිතත් ආලයත් මගේ චකිතයත් ඇය දකිනු රිසියෙන් නතර වී උන්නා.
අන්තිමේදී ඇය පැමිණියා.
කොල්ලුපිටියට සීතලත් මට ආදරේ කන්දකුත් අරන් ඇය පැමිණියා.


දහවල නිවුණා. නිවී සැනහුණා. මම ඇවිලුණා.


දෑසින් සිනා සලමින්ද, කෙහෙරොදින් සුළං මානය සොයමින්ද, උකුළෙන් තාල තබමින්ද,
හිම පළස මත පා සටහන් අඳිමින්ද පැමිණි ඇය දෙවුරේත් හිස්වැස්මේත් රැඳුණු හිමපියලි දෑතින් ගසා දැමුවා.
හිම.
අහසින් වැටුණු හිම.
ඔබ විශ්වාස නොකළාට එදා ඒ මොහොතේ මුළු කොල්ලුපිටියටම හිම වැටුණා. හිම මිදුණා.


දහවල හිමෙන් වැසී ගියා. මම ඇවිලෙමින් සිටියා.


සියල්ලෝම තම තමන්ගේ නිවෙස් හා කාර්යාලවල ගුලිගැසී සිටියා.
හිමකබා ඇඳගෙන ඉස්කෝප්ප අතින්ගත් කිහිප දෙනෙක් මහ මග හිම ඉවත් කරමින් සිටියා.
ඒ හැරෙන්නට සිටියේ ඇයත් මාත් පමණයි. සීතල කොල්ලුපිටිය අප දෙස බලා උන්නා.
අපේ සුසුම්වැල්, වාෂ්පයෙන් බර සීතල සුළඟ තව තවත් බර කළා.
ඇය කතා කළේ නෑ. මට කතා කරන්නට ඕනෑ වුනෙත් නෑ.
හිමත් වැටෙනවානම්, සිසිලත් දැනෙනවානම්, අප ළංව ඉන්නවානම්, ආදරයත් ගලා හැලෙනවානම්
එතැන වචනවලට කරන්නට තිබෙන්නේ කුමක්ද?
කිසිවක් නැහැ.


දහවල සීතල වුණා. බැරිස්ටාව උණුසුම්ව තිබුණා.


මිදුණු හිම පළස මතින්, ඇඟේ ගෑවී නොගෑවී අපි බැරිස්ටා අවන්හල වෙත පියමැන්නා.
බැරිස්ටාව ඒ වන විටත් සීතල පෙම් යුවළ කිහිපයක් උණුසුම් කරමින් උන්නා.
බැරිස්ටාවේ උණුසුම් කෝපි සුවඳ සමග ඇගේ ආදරයේ සුවඳ මුසු වුණා.
සිහින් සංගීත රාවය සමග ආදරයේ හඬ නින්නාද වුණා.
ආදරයේ හඬ.
ඔබට එය ඇසී තිබෙනවාද?
ලෝකයේ මිහිරි අමිහිරි සියලු තනුවල එකතුව. සොම්නසේත් දොම්නසේත් ගීතය.
ඔබේත් මගේත් අප සියල්ලන්ගේමත් ඇතුළුගැබෙහි ස්‍රැතිය.
සත්තකින්ම, මට ඇසුණා ඇගේ ආදරයේ හඬ.


සීතල කොල්ලුපිටිය නිහඬවම තිබුණා. මම පරමානන්දය අත්වින්දා.


ඇය නිහඩවම ආදරයේ හඬ නැගුවා.
මේ සුන්දරම මොහොත, ඉසියුම් කවක් සේ ඇගේ තොල්පෙති මත ලියා තියන්නට ඇත්නම්...,
තොල් සායම්වලින් මකාහළ නොහැකි පරිද්දට, ආදරයේ පාට ඒ තොල් මත තවරන්නට ඇත්නම්...,
කැඩපතින් බල බලා සතුටු විය හැකි තරමට, මම යනු කවරෙක්දැයි ඒ ලවන් මත සටහන් කරන්නට ඇත්නම්.
මා දෙනෙත් ඇයට ඉඟි කළා.


බැරිස්ටාව උණුසුම්ව තිබුණා. මම ඇවිලෙමින් සිටියා. ඇය සීතලව උන්නා.
ඇය මා අසලට එනතුරු මම බලා සිටියා.
මම මග බලා සිටියා.
මග බලා සිටියා.
මග බලා සිටියා.
හදිසියේම ඇය මා පසුකර ගියා. හිම දිය වුණා.
නගරය මැදින්, මල්කුඩය යට සෙවනට මුවා වී, මා දෙස නොබලාම ඇය මා පසුකර ගියා.


දහවල ඇත්තටම ගිනිගෙන තිබුණා. කොල්ලුපිටිය මැද මම තනි වී ගල්ගැසුණා.

Saturday, March 3, 2012

පොලිටික්ස් ඩොට් එල් කේ - දේශපාලන සිරකරුවෝ

මේ ලියුම්කරුට ආණ්ඩුව මේ දිනවල කරන වැඩකටයුතු ගැන කිසිම ප්‍රසාදයක් නැත. ඒ පිළිබඳ මගේ අදහස මේ බ්ලොගේම වෙනත් ලිපිවලද වෙනත් බ්ලොග්වලට කළ කොමෙන්ට්වලද ලියුම්කරු සටහන් කොට ඇත. ඒ පිළිබඳ කල්තියාම සටහන් කළේ මේ සටහනේ ලියවෙන ඇතැම් කරුණු නිසා ආණ්ඩු හිතවාදීන්ට මාර චූන් එකක් ඇවිත් පට්ට ආතල් ගන්නා ගමන් මටද හුරේ දැමීමට ඉඩ ඇති බැවිනි. එසේම බ්ලොග් අවකාශයේ ආණ්ඩු විරෝධීන් මෙහි කොමෙන්ට් තීරයේ සහ සිය බ්ලොග්වල ලියුම්කරුට අම්බානට නෙලන්නට ඉඩ ඇති බැවිනි.

පසුගිය දිනවල සරත් ෆොන්සේකා දේශපාලන සිරකරුවකු බවට නිල වශයෙන් ප්‍රකාශ කෙරිණි. ඒ නිල ප්‍රකාශයත් සමග කොයි පැත්තේ සිට බැලුවත් සිනා පහළවන අපූරු ත්‍රිමාන විහිළුවක පහළ වීම සිදුවිය. සරත් ෆොන්සේකාව සිරගත කිරීමෙන් ආණ්ඩුවට සිදු වී ඇත්තේ ගලේ පැහැරූ බළලාට සිදු වූ අලකලංචියට සමාන සිදු වීමකි. අන්තර්ජාතික වශයෙන් රට තුළ මානව හිමිකම් සහතික කිරීම පිළිබඳ සංකේතයක් වශයෙන් සරත් ෆොන්සේකා නිදහස් කළ යුතුයැයි කෙරෙන බලපෑමට ආණ්ඩුවට එකඟ වීමට නොහැකි විය. එසේ එකඟ වී නිදහස් කළානම් සරත් ෆොන්සේකාට එරෙහිව නැටූ සමස්ත නාඩගම විගඩමක් විහිළුවක් බවට පත්වන බැවිනි. සරත් ෆොන්සේකා සමාව ඉල්ලුවහොත් නිදහස් කරන බවට ප්‍රවාදයක් නිර්මාණය කළේ මේ අසීරු තත්ත්වයෙන් ගොඩ එන්නටය. ව්‍යවස්ථාවට අනුවනම් කිසිවෙක් සමාව ඉල්ලුවත් නැතත් ජනපතිට අවැසිනම් ජනාධිපති සමාව දිය හැක. ඒ මොහොතේ සරත් ෆොන්සේකා සමාව ඉල්ලුවානම් ඉල්ලපු නිසා දුන්නා කියා ආණ්ඩුවට ෂේප් වන්නට තිබුණි. එහෙත් ෆොන්සේකා සමාව ඉල්ලුවේ නැත. තමන්ගේ ජාමද බේරාගෙන ෆොන්සේකා නිදහස් කිරීමට ක්‍රමවේදයක් සොයාගත නොහැකිව ආණ්ඩුව මාර මුල්ලක සිර විය.

එසේ ඉන්නා අතරතුර දැන් ෆොන්සේකාව දේශපාලන සිරකරුවකු ලෙස නම්කර ඇත. එනිසා දේශපාලන සිරකරුවා යනු කව්දැයි විමසීමක් කරන්නට අප හට සිත් වේ. දේශපාලන හේතූන් මත සිරගත කිරීම යනු බලාධිකාරයේ මර්දන යාන්ත්‍රණයට එරෙහිව, පොදු ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පොදුජන අරගල බිමක සටන් කළ කිසිවකු මර්දන යාන්ත්‍රණය විසින් සිරගත කිරීමයි. අවුන් සාන් සුකී යනු මුළු ලොවම නම කියූ සැනින් දන්නා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අරගල කොට සිරබත් කෑ දේශපාලන සිරකාරියකි. මෙරට විජය කුමාරතුංග යනු පොදු ජනතාව වෙනුවෙන් වීදි සටන්වල නියැලී සිරබත් කෑ දේශපාලන සිරකරුවෙකි.

සරත් ෆොන්සේකා පසුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත් වන තුරුම ඔහු සිටියේ හමුදා නිලධාරියකු වශයෙනි. හමුදාව යනු බලාධිකාරයේ මර්ධන යාන්ත්‍රණය ක්‍රියාත්මක ප්‍රධානතම උපකරණයයි. බලාධිකාරයේ පැවැත්ම වෙනුවෙන් සේවය කරන හමුදාවක ප්‍රධානියා ලෙස කටයුතු කළ අයෙක්ගේ නම සහ පොදුජනතාව වෙනුවෙන් කැප වූ අරගල බිමක සටන්කරුවෙක්ගේ නම එකම නම් ලිස්ට් එකකට වැටීම ඇදහිය නොහැකි තරම් පුදුම සහගතය. ආණ්ඩුවට පාලනය, පරිපාලනය, සංවර්ධනය පමණක් නොව හොරකම සහ පළිගැනීමවත් නෝන්ඩි නොවී හරි ආකාරයට කරගත නොහැකි බවට හොඳම උදාහරණය මෙයයි. යුද්ධ ජයග්‍රණයෙන් පසුව සදාකාලික යුධ වීරයෙක් වීමට තිබූ චාන්ස් එකට පයින් ගසා ජනාධිපති වීමට ගිය ෆොන්සේකාට ඡන්ද පරාජයෙන් පසුව නියමිතව තිබුණේ ෆුල් හන්තර් වී ජන මනසින් අතුගෑවී යන්නටය. එහෙත් ආණ්ඩුව කඩි කුලප්පුව සෑදුණු මී වස්සන් සේ හැසිරී, ෆොන්සේකාව ලෝක දේශපාලනය තුළ අවුන් සාන් සුකීගේ මට්ටමට ඔසවා තබා ඇත.

ජනතාව තම තම අභිමතය පරිදි වීරයන් සහ දුෂ්ඨයන් තෝරාගෙන හුරේ දමමින් සහ වෛර බඳිමින් පාන් කියාගත නොහැකි කල් යවති.

Friday, February 10, 2012

රාගම කිඹුලා

කිඹුලෙක් මිනිහෙක්ව මරාගෙන කෑවේය. සිද්ධිය ඇරඹෙන්නේ එතැනිනි. එතෙක් දවස් කිසිවෙක් අවධානය යොමු නොකළ වගුර ගොඩ කිරීම පිළිබ‍ඳ විවාදයක්ද පැන නැංගේය. ටීවි එකේ නිව්ස්වලින් සහ පත්තරවලිනුත් සීන් එකට මාර පබ්ලිසිටියක් ලැබුණු නිසා රාගම කියා ගමක් තියෙන බවක්වත් නොදැන සිටි අය පවා රාගම කිඹුලෙක් ඉන්නා බව දැනගත්හ. රාගම කිඹුලා රට පුරා ප්‍රසිද්ධ විය. ඒත් කිඹුලා කාපු මිනිහාගේ නමවත් මේ කතා බහ අතරට එකතු වූයේ නැත. ඔහුගේ දුවා දරුවන්ට අත් වූ ඉරණම ගැන කතා කළ කිසිවෙක්ද නැත. ඕන මළ ගෙදරක හඬාවැටෙන ගැහැණියකගේ ඉන්ටවීව් කට් එකක් ප්‍රචාරය කරන්නට මැලි නොවන සිරස, කිඹුලා විසින් කා දැමූ මිනිසාගේ ගෙදරට ගිය බවක් මමනං නොදුටිමි. ටීවි එකට වොයිස් කට් දෙන්නට පැමිණි ප්‍රාදේශීය සභාවේ ලොක්කන් කතා කළේත් කිඹුලා අල්ලාගන්නා හැටි සහ වගුර ගොඩකර රාගම සංවර්ධනය කරන හැටි විනා මියගිය මිනිසා ගැන නොවේ.

ඊළඟ ජවනිකාව කිඹුලා අල්ලාගැනීමයි. පාන්දර සිටම වැල නොකැඩී කිඹුලා බලන්නට සෙනඟ ඇදී ආහ. මළ ගෙදර ගියාට වඩා සෑහෙන පිරිසක් වගුර දෙපස හිඳ කිඹුලා ඇල්ලූ ජාතික වීරයන්ට හුරේ දැමූහ. පාන්දර සිටම වගකිවයුතු අංශ අමතා කිඹුලා අල්ලාගත් බවත් ඌ රැගෙන යාමට පැමිණෙන ලෙසත් දැනුම් දුන්නද හවස් වරුව වනතුරුත් කිසිවකු පැමිණියේ නැත. අවසානයේ සත්වෝද්‍යානයේ නිලධාරි පිරිස කිඹුලා ගෙන යන විට කිඹුලා මරණාසන්නව සිටියේය.

කිඹුලා මිය ගියේය. මිනිසෙකුගේ මරණයෙන් පටන් ගත් සංසිද්ධිය, කිඹුලා අල්ලාගැනීම පිණිස ඇමට යෙදූ බල්ලාගේ මරණයද පසු කර ගොස් කිඹුලාගේ මරණයෙන් කෙළවර විය. බැලූ බැල්මට එළුවා සහ මුට්ටිය සිහි වන ආකාරයේ සිදුවීමකි. අපේ රටේ බොහෝ ප්‍රශ්න විසඳෙන්නේ මෙයට කිට්ටු ආකාරයෙනි.

කිඹුලා මළ දින රාත්‍රියේ නිව්ස්වල කිඹුලාට මාර තැනක් ලැබී තිබුණි. ඌ දුර්ලභ වර්ගයේ ගැට කිඹුලකු බවත් විශාලත්වය අනුව ආසියාවේ මෑතක හමු වූ විශාලතම කිඹුලා ඌ විය හැකි බවටත් වාර්තා පළ වුණි. එය ඇසුණු ගමන් ආශ්චර්යයට පෙම් බඳිනවුන්ගේ පපුව පිච්චී යන්නට ඇත. කිඹුලා නොමැරී සිටියානම් ආසියාවේ ආශ්චර්යය ඒකෙන්ම ගොඩදාගන්නට තිබුණි. කලින් දන්නවානම් දවස ගානෙ කොළඹ හිඟන්නො එක එකා දීලා හරි කිඹුලා පරිස්සම් කරගන්නට තිබුණු බවත් ඇතැමෙක් සිතන්නට ඉඩ ඇත. ඒත් මේ තුළද සුභවාදී කාරණයක් මතු කරගත හැක. ලෝකයේ ලොකුම ත්‍රස්තවාදියාට හොම්බෙන් යන්න දුන් අපට ආසියාවේ ලොකුම කිඹුලා හූනෙක් වගේයැයි කියමින් මාර පොර ටෝක් එකක් දෙන්නට මෙය අවස්ථාවක් කරගත හැක.

Saturday, October 22, 2011

පොලිටික්ස් ඩොට් එල් කේ - මුල්ලේරියා සටන

ඒ මුල්ලේරියා සටන එකක්. මේ මුල්ලේරියා සටන වෙනමම එකක්. දෙගොල්ලක් ගිනි දවාලේ මහපාර මැද වෙඩි තියාගත්තා. දෙන්නෙක් එතනම මළා. තව කට්ටියක් ඇඩ්මිට් කළා.

දැන් මේ සීන් එක වෙච්ච වෙලාවෙ ලංකාවෙ මීඩියා ටික වැඩ කරපු විදිය බලන්න ලස්සනයි. වෙඩි තබාගැනීම වෙච්ච ගමන් මුලින්ම ගිය නිව්ස් වල කිව්වෙ "මුල්ලේරියවේ දී හටගත් සිද්ධියකින්" භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රත් ඔහුගේ ආරක්ෂකයකුත් තුවාල ලැබුවා කියලා. ඒ ගැන් අදහස් දක්වන අසවලා කියලා ගහන වොයිස් කට් එකක පළාත් සභාවෙ රේණුක තමයි කියන්නේ ඒ දෙන්නා මළා කියලා.

ඊට ටික වෙලාවකට පස්සේ කියනවා දුමින්දත් ඇඩ්මිට් කියලා. ඒත් වෙඩි තියාගත්තා කියලා කියන්නෑ. ඒකට කියන්නේ "මුල්ලේරියාවේ දී හටගත් සිද්ධිය" කියලා. භාරත මැරිලා දවස් දෙකකට පස්සේ තමයි මීඩියා කට්ටිය "වෙඩි වැදීමෙන් මියගිය භාරත ලක්ෂ්මන්" කියන වචන සෙට් එක දාන්න පටන් ගත්තේ. වෙඩි වැදීමෙන් මිය ගියා කිව්වහම නිකං මුල්ලේරියාවේ මිනිස්සු සත්තු දඩයම් කරන්න බැඳලා තිබිච්ච තුවක්කුවක මරු වැල භාරතට පෑගිලා වෙඩි වැදිලා වගේ.

මේ සිද්ධිය වෙලා දැන් සුමාන දෙකක්. තාම කිසිම ඉලෙක්ට්‍රොනික් මීඩියා එකක් දුමින්ද ඇතුළු කණ්ඩායමක් සහ භාරත ඇතුළු කණ්ඩායමක් මුහුණට මුහුණ වෙඩි තියාගත්තා කියලා හරියට කියන්නෑ. භාරත වෙඩි 'වැදිලා' මැරිලා. දුමින්ද වෙඩි 'වැදිලා' රෝහලේ. ඒත් කවුරුවත් වෙඩි තිබ්බා කියලා කතාවක් මෙතන නෑ.

අනික් අතට වෙනදට පොඩි සීන් ලොකු කරගෙන බෙරිහන් දෙන මාධ්‍ය ඔස්තාර්ලා කවුරුත් මේ සීන් එක ගැන "මේක ම්ලේච්ඡ ඝාතනයක්", "මේවා කරන අයට තරාතිරම නොබලා දඬුවම් දෙන්න ඕනෙ" වගේ පොර ටෝක් දෙන්නෑ. බය නැතුව ලියන සමහර පත්තරකාරයෙක් ඇරුණම කවුරුත් මේ ඝාතනය හෙළාදකින්නෙත් නෑ. මීඩියා තියා කිසිම දේශපාලන පක්ෂයක්වත් ඒ ගැන කෙළින් කතා කරන්නෑ.

භාරත එක්ක සමීප සම්බන්ධකම් තිබුණු එහෙම නැත්නම් දුමින්ද එක්ක කලින් ඉඳන්ම ඔරොප්පු ඇමතිවරු කිහිපදෙනෙක් නම් මේ දවස් වල මීඩියාවල දුමින්දට ඇට්ටි හැළෙන්න දෙනවා. ඒත් ඒ අයත් අහන්නැති ප්‍රශ්නෙ තමයි "දුමින්දව ඇරෙස්ට් කරන්නැත්තෙ ඇයි" කියන එක.

භාරතට හිතවත් මිනිස්සු කතා කරන විදිය ඇහුවම මට හිතුනෙ 'නරකම නරක දුමින්ද ෂෝක්ම ෂෝක් භාරතට වෙඩි තියලා' වගේ සීන් එකක්. ඕවෑ ඇත්ත නැත්ත කියවන ඔබට බාරයි. අන්තිමට කියන්න තියෙන්නෙ "අවි ගත්තෝ අවියෙන්ම නැසෙති" කියන එක කවුදෝ කට කහනවට කියලා තිබ්බෙ මීට ශතවර්ෂ ගාණකට කලින් කියලයි.

Wednesday, October 19, 2011

හිරිමල් හිත - ප්‍රේමයයි රෝමයයි


සැබෑව මා හෙම්බත් කොට තිබුණා.
සිහිනය මා කුළුගන්වා තිබුණා.
දුරකථනය නාද වුණා.

"හෙලෝ"
සැබෑවේ යථ සිහිනයේ මායාව මත බොඳව යමින් තිබුණා.
"හෙලෝව්"
මිණි මිණි ගිගිරි සැලුණා. සිලි සිලි සුළඟ හැමුවා. සිරි සිරි වැස්ස වැටුණා. කර්ණ සංඛ, කර්ණ පත්‍ර, කර්ණ පටහ පටල විනිවිදින්නට ඒ කිසිවක් සමත් වුණේ නෑ. ඒ කටහඬ මා අප්‍රාණික කළා. පැතූ පැතුම් දහසක, පිරූ පෙරුම් සහසක, මැවූ සිහින ශත සහසක, සිතූ සිතුම් කප්පරක හිස්තැන එසැණින් පිරී ගියා.

සැබෑ සිහිනය හෝ සිහිනමය සැබෑව ළඟ මා නතර වී සිටියා. දුර සිටි අප ළං වන්නට පටන් ගෙන තිබුණා. ඇගේත් මගේත් ආදරයට තෙරපී කිලෝ මීටර, මිලි මීටර දශම ගණන්වලට ලඝු වුණා. ඇගේ දෙතොලත් මගේ සවනත් අතර රිසීවරය නොතිබුණා නම්... කන් පෙත්ත හිරි වැටෙනවා නියතයි.

"අද එනවද මාව බලන්න"

***********************************************************************************

පීසා කුළුණේ ඇල වූ හෙවනැල්ල දිගට ඇදී තිබුණා. ඒ හෙවන මටත් මගේ සිහිනයටත්, ආලයටත් හෙවන වුණා. ලෝකය තත්පරයකට වරක් කරකැවුණා. ඒ නිසාම හැම තත්පරයක්ම දිගු වුණා.

පීසා කුළුණේ ඇල වූ හෙවනැල්ල තව තවත් දිගට ඇදුණා.

මං සුපුරුදු විදියට බලා සිටියා... ආදරය මා ළඟට එනතුරු, සිහිනය, ප්‍රීතිය, අසහනය, උමතුව මා ළඟට එනතුරු. අවුරුදු හැත්තෑ එකක් ජීවත් වෙන ඇමරිකන්කාරයෙක් අවුරුදු හතරක්ම බලාගෙන ඉන්නෙ මහමග රතු එළිය කොළ පාට වෙනකංලු. මගේ මුළු ජීවිත කාලෙම මං බලං හිටියෙ ඒ මුහුණ මගේ ආදරේ ඉස්සරහා රතු වෙනකං.

පීසා කුළුණේ ඇල වූ හෙවනැල්ල රෝමයේ කෙළවරට දිග ඇදී තිබුණා.

දිගම දිග ත්තපර අසංඛ්‍යයකට පස්සෙ ඇය පැමිණියා. රෝමයේ පදික මග මත හදිස්සියේ පිපුණු නෙළුම් මල් මත පා තබමින් ඇය පැමිණියා. මම උදාන වාක්‍යය මිමිණුවා.

"අග්ගෝ හමස්මි ලෝකස්ස"

රෝමය මලසුනක් කොට මගේ ජීවිතය ඇය පාමුල පුදන්නට මා සැරසුණා. පීසා කුළුණේ ඇලය යට අපි අපේ ආලය සැතපෙව්වා. දෙනෙත් පියවෙන්නට ඉඩ දී, දෑස් කෙවෙනි අගට සතුටු කඳුළු පුරන්නට ඉඩ දී, ලවන් දෙපෙතිවලට පිපෙන්නට ඉඩ හැරියා.

"හ්...ම්"
සීතල දෙතොල් සහ උණුසුම් ජීවිත.

රෝමය මොහොතකට නතර වුණා. බැස යන හිරු පවා ආලයෙන් මත්ව රතු වුණා. හැමෝගෙම දෙනෙත් විසල් වුණා. අයාගත් මුවින් යුතුව බලා සිටියා. කොතෙකුත් පෙම්වතුන් දැක ඇති, කොතෙකුත් පෙම් රැඟුම් ඉවසා ඇති ප්‍රේමණීය රෝම නගරයට මේ කුමක් සිදු වීද? රෝමවාසීන්ට මේ කුමක් සිදු වීද? ඔවුන් බලා සිටින්නේ අප දෙසද?

පීසා කුළුණේ හෙවනැල්ල වඩාත් දිගට ඇදී තිබුණා.

ඇය හිස ඔසවා පීසා කුළුණ දෙස බැලුවා. රෝමයත්, රෝමවාසීනුත්, ඇයත්, මාත් පමණක් නොව රෝමය පිසගෙන හැමූ සුළඟ පවා පුදුමයට පත් කරමින් පීසා කුළුණ කෙළින් වී තිබුණා.

සැබෑව මට අත වැනුවා. සිහිනය මා හෙම්බත් කොට තිබුණා. සිහිනයේ මායාව සැබෑවේ යථ මත බොඳව යමින් තිබුණා.

දෙයියනේ! මට එයාව ඉඹින්න ඕනෙ.