Wednesday, January 23, 2013

චූන් චෑන් පොලිසිය

 

අපරාධ නඩු විධාන සංග්‍රහයට සංශෝධනයක් එක්විය. දැන් වරෙන්තු නැතිව අත්අඩංගුවට ගන්නා පුද්ගලයන් පැය 48ක් දක්වා රඳවා තබාගැනීමේ බලය පොලිසිය සතුය. මේ පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් පවිත්‍රා වන්නිආරච්චි ඇමතිනිය ප්‍රකාශ කර සිටියේ මෙරට ජනතාව අපරාධකරුවන් පිළිබඳ විශාල බියකින් පසු වන නිසා එම බිය නැති කිරීමට මෙම සංශෝධනය හේතු වන බවයි. ජනතාවබියෙන් පෙළෙන බවනම් සැබෑය. එහෙත් අපරාධකරුවන්ට කිසි බියක් නැත. ඒ රටේ ඉහළම යාන්ත්‍රණයන් විසින් ඔවුන් ආරක්ෂා කරන බැවිනි. ජනතාව බියෙන් සිටිද්දී අපරාධකරුවන් නිදැල්ලේ සිටීම මෙම සංශෝධනයෙන් පිටුදැකිය හැකි වේද?

විවාදයේදී මතු වූ අනෙක් කාරණාවන් නම් අත්අඩංගුවට ගත් අයගෙන් ප්‍රශ්න කිරීම සඳහා පොලිසියට පැය විසි හතරක කාලයක් මදි බවත් හොඳින් කතා කළාට සැකකාරයෙකුගෙන් තොරතුරු ලබාගත නොහැකි බවත් මෙම නව පනත නිසා පොලිස් සේවය කාර්යක්ෂම වන බවත්ය. මෙතුවක් කල් වරෙන්තු ලත් අපරාධකරුවන් නිදැල්ලේ සරන්නේ පොලිස් සේවයේ අකාර්යක්ෂමතාවය නිසා බැව් සැබවි. එහෙත් මේ සංශෝධනය ඊට පිළියමක් වන්නේද?

දැන් මේ පනත ගෙන ආ සැණින් වරෙන්තු පිට සිටිමින් ස්වාධීන රූපවාහිනියේ සජීවීව වැඩසටහන් ඉදිරිපත් කරන සුධර්මන්ව අත්අඩංගුවට ගන්නවාද? දේශපාලන වුවමනාවන් වෙනුවෙන් මීනී මරන පාතාලයන් අල්ලා ගැනීමට පොලිසිය අසමත් වීම සම්බන්ධයේ පිළිතුරක් මේ තුළ තිබෙනවාද? නිස්කාරණේ නිර්දෝෂී දේශපාලන එදිරිවාදීන් අත්අඩංගුවට ගෙන උසාවි දමා බන්ධනාගාරගත කරන්නට පොලිසියට පැය විසිහතර මදි වී තිබුණාද?

සත්‍ය තත්ත්වය නම් මේ උත්සහ කරන්නේ දඩයම් බල්ලාගේ නිය උල් කිරීමටය. පොලිස් දෙපාර්තමේන්තුව ජනතාව ඉදිරියේ මේ තරම් කිච වන්නට සැලැස්වූ ආණ්ඩුවක් ඉතිහාසයේම නොවීය. ඉහළම සිට පහළම දක්වා විහිදුණු දේශපාලනඥයන්ගේ ජඩ දේශපාලන වුවමනාවන් සපුරාලීම සඳහා තොරතෝංචියක් නැතිව කඹුරන නින්දිත තත්ත්වයට වැටී ඇති පොලිස් දෙපාර්තමේන්තුවේ බලය නැංවීමෙන් ජනතාවට සහනයක් බලාපොරොත්තු විය හැකිද?

මෙරට පොලිසිය මෙතෙක් කල් කටයුතු කර ඇත්තේ චූන් චෑන් න්‍යායට අනුකූලවය. කඩේට පලයන් චූන් චෑන් කිවූ සැණින් කඩේ දුවති. හපා කන්නට උසි ගැන්වූ විට හපා කති. බුරන්නට කී විට මාධ්‍ය සාකච්ඡා කැඳවා බුරති. නිදන්නට කී විට ඇස් පනාපිට කුමන අපරාධයක් සිදු වුවත් නොදැක්කා සේ නිදති. කඳුළු ගෑස් ගැසිය යුතු උද්ඝෝෂණ සහ ආරක්ෂාව සැපයිය යුතු උද්ඝෝෂණ වෙන් වෙන්ව ගෙන නීති දෙකක් අපූරුවට ක්‍රියාත්මක කරති. මාධ්‍යවේදින්ට ඒ පිළිබඳ හේතු දක්වන්නට ගොස් හත්පොළේ ගා ගනිති. පැය විසි හතරේ රඳවාගැනීමේ කාලයෙන් උපරිම ප්‍රයෝජන ගෙන සැකකරුවන්ගේ ඇට කුඩු කරති. සමහර උන්ව මරති. පිස්සන්ට පවා පොලුවලින් ගසා මරති. මේ පැය 48ක රඳවාගැනීමේ කාලය ලබා දෙන්නේ මේ පොලිසියටය. බුදු සරණය.

3 comments:

  1. සහතික එත්ත හසා, මේකෙන් වෙන්නේ අසරණයින් නිරපරාදේ අත්අඩංගුවට අරන් නොකර වරද පිළිගන්නම වෙනකන් ඇට කුඩුකරගන්න වෙන එක,

    ReplyDelete
  2. පොලිසිය කවදත් කලේ එක එකාට කඩේ යාමය , කොඩේ නොයන්නෙක් සිටියොත් ඌට වෙන්න විනය පරීක්ෂණයක් හමුවේ ගෙදර යාමටය එසේ නැත්නම් ගෙල වැලලා ගැනීමයි. පොලිසිය මේ තත්ත්වයට පත්කලේ දේශපාලනය පමණක් නොව මහජනයායි.

    ReplyDelete

කියෙව්වම එන හැඟීම මෙතනම විමෝචනය කරන්න. හුවමාරුවෙන් අදහස් වැඩෙනවා ඇත.