Sunday, January 20, 2013
Thursday, January 17, 2013
නගුට වනන්නට මිස බුරන්නට අවසර නැත.
මොහාන් පීරිස් මහතාට ලිපියක්.
මිනිසා තමාගේ ආරක්ෂාව පිණිස සහ දඩයම පිණිස බල්ලන් ඇති කරන්නට පටන් ගත්තේය. කලක් ගත වද්දී බල්ලා මිනිසාගේ සුරතලා බවට පත්විය. බල්ලා මිනිසා ළඟ කොතරම් සුරතල් වුනාද යත් බල්ලාට බලුකම අමතක වී ගියේය. බලුකම අමතකව ගොස් තොරතෝංචියක් නැතිව නගුට වනන්නටද දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්නටද බල්ලා පුරුදු විය. නගුට වනන්නට වනන්නට ලැබෙන සැලකුම් ද වැඩි වන්නට විය. එහෙත් බැරි වෙලාවත් බල්ලාට සිය බලුකම මතක් වී බුරන්නට පටන් ගතහොත් බල්ලාට සබ්බුව ලැබෙන්නේය. කූඩු කෙරෙන්නේය.
බල්ලන්ට බලුකම අමතක වූවා සේම තමාට තමා අමතකව ගොස් ගැතිකම් කරන මිනිසුන්ද අප දැක ඇත්තෙමු. එවැනි මිනිසුන් හදිසියේ නින්දෙන් අවදි වී සිය අභිමානය රැකගන්නට මොරදෙන අයුරුද අපි දැක ඇත්තෙමු. ඔවුන්ගේ ඉරණම ද බල්ලාගේ සේම කණගාටුදායක වන සැටිද අපි දැක ඇත්තෙමු.
වහෙන් ඔරෝ ඉවරය. දැන් ඔහෙන් වරෝය.
සරත් නන්ද සිල්වාගේ ධුර කාලයේ සිටම අධිකරණය සිය ස්වාධීනත්වය පාවා දෙමින් සිටියේය. සරත් නන්දගේ නගුට වැනිල්ලේ හොඳකම නිසාම රනිල්ගේ ආණ්ඩුව ඔහුට එරෙහිව ගෙනා දෝෂාභියෝගයෙන් ඔහු ගලවාගන්නට එවක ජනාධිපතිනිය කටයුතු කළාය. ඉතාම නිර්ලජ්ජිත ආකාරයෙන් අධිකරණය ආණ්ඩුව ආරක්ෂා කරන්නට සහ පාලකයන්ගේ වුවමනාවන් සපුරන්නට කටයුතු කරනු අපි දැක ඇත්තෙමු.
ශිරානි අංශුමාලාගේ ධුර කාලය ද මෙවැනි නගුට වැනීම්වලින් තොර නොවීය. මෙරට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය වන්නට ඉඩ හරිමින් 18වැනි සංශෝධනය නීත්‍යානුකූල බවට අර්ථ නිරූපනය කළාය. දෙටු පුතුන්ගේ දිව්රුම් දීම ඇය ඉදිරියේ පද්ධතියට හොරා සිදු වන්නට ඉඩ හැරියාය. වෘත්තිය සදාචාරය ගැන නොසිතා යුවති-පති යුවළම රජයේ ප්‍රධාන තනතුරු භාරගත්තෝය. මේ ඕනෑම එකක් දෝෂාභියෝගයකට සුදුසු තත්ත්වයන් සැපයූවද ඒ එකක්වත් දෝෂාභියෝගයේ අඩංගු වූයේ නැත.
දිවි නැගුම පනතට ඇය එරෙහි වන්නේ ඇය සැබැවින් බලය බෙදාහැරීමක් ගැන විශ්වාසය තැබූ නිසා විය යුතුය. චන්ද්‍රිකාගේ පැකේජය සකස් කිරීමේදී ජී එල් සමග එක්ව කටයුතු කරන්නේ ඇයයි. බල්ලාට හදිසියේ බලුකම මතක් වන්නා සේ ඇයට ඇගේ වෘත්තිය වගකීම් සහ පුරුෂාර්ථයන් හදිසියේ සිහිපත් වන්නට ඇත. එතැන් පටන් ඇය නීතියේ ආධිපත්‍ය, අධිකරණයේ ස්වාධීනත්වය, සංවරණය හා තුලනය වැනි ප්‍රජාතන්ත්‍රවාදයේ බරපතළ මූලික ලක්ෂණයන් වෙනුවෙන් පෙනී සිටින්නට පටන් ගත්තාය. නගුට වැනීම අවසන් කළාය. ප්‍රතිඵල සෝචනීය විය.
දැන් මම කෙළින්ම ඔබතුමා අමතමි.
ඔබතුමා නීතිපති වශයෙන් කටයුතු කරද්දී ක්‍රියා කළ ආකාරය හොඳටම හොඳය. ආණ්ඩුවට ඕන වුනාම නුඩු දාන්නටත් ඕන නැති වුනාම නඩු ඉල්ලා අස් කරගන්නටත් සිදු වීම ඉවසා වදාළ ආකාරය විශිෂ්ටය. ඔබ නියම ක්‍රමය දන්නේ යැයි මට සිතේ. ඔබට චිරාත් කාලයක් වැජඹීමට හැකි වනු ඇතැයි යන්න මාගේ විශ්වාසයයි. ඔබට එරෙහිව එන අල්ලස් චෝදනා ගැන මොහොතකටවත් බිය නොවන්න. ඔය වේගෙටම නගුට වනාගෙන ගියොත් ඉහළම කට්ටිය ඔබ වෙනුවෙන් අල්ලස් කොමිසමම අතුගා දමන්නට වුනත් ඉඩ ඇත.
ඉතින් ඔබ මෙතෙක් කල් කළාක් මෙන් ඉදිරියටත් කටයුතු කරන්නට ඉඩ ලැබේවා. ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ඔබ උගෙන ඇති මාහැඟි සංකල්ප හෝ ලැජ්ජාව හෝ ආත්මානුකම්පාව හෝ ඔබේ නගුටට හරස් නොවේවා. ඔබේ නගුට සදා වැනේවා! සදා දිනේවා!
Tuesday, September 25, 2012
යුද්දෙට නැති පිරිත නිවන් දකින්නද?
යුද්දෙ ඉවරයි
දැන් නෑ බියක්
යුද බිමේ දෙසති
යුගාසන කවි බණක්
සුදුම සුදු සාදුලා
දෙනමක්
පිරිත් නූල් බැඳන්
වෙඩි තියපු අත්වලින්
විරුවෝ ගසති ඝන්ටාරේ
යුද පුවත්
අහපු චැනල් එකේ
දාගෙන පිරිත්
දනෝ දෙති සාදුකාරේ
රජ්ජුරුවොත් අපේ
වෙච්චි බුදුන්ගේ පරපුරේ
බණ ඇහුවත් වෙඩි තිබ්බත්
ඇරෙනවා දොර නිවන්පුරේ
චණ්ඩාශෝකලා
දෙසන බණ ඇසී
බුදුවරු කලකිරී
ගිහින් ගිහිගෙට නික්මී!
Friday, August 3, 2012
සත්තිගුම්බ
එන්න
මේ පිරිත් පැන් ටික
බොන්න
මෙන්න
මේ පුළුන් අපි ගානේ
සැතපෙන්න ඔබාගෙන කනේ
වෙඩි හඬ නොගෙන කනකට
වේදනා කෙඳිරිලි නෑසෙන්නට
සැතපෙන්න ඔබාගෙන කනේ
මෙන්න
මේ පුළුන් අපි ගානේ
හඳුනනවාද මේ ගිරව් ගී
කියනා
දන්නවාද මේ ගී හඬ
එන්නේ කොහි සිටද කියා
අසපුවෙන් එන ගිරා ගී
හඬද මේ
එසේ නැතිව
සිල් අරන්ද සොර මුල
Subscribe to:
Posts (Atom)