Sunday, January 20, 2013

පස්සට... යා!


 

 

 

ලෝ සුපතල නිව්ස් වීක් (News Week) පුවත් සඟරාවේ අවසාන මුද්‍රිත කලාපය පසුගිය දෙසැම්බර් 31වැනිදා නිකුත් වූ බව නාලක ගුණවර්ධන රාවයට ලියා තිබුණේය. ඒ අනුව මින් මනතට නිව්ස් වීක් මුද්‍රණය වන්නේ නැත. එහෙත් එය අන්තර්ජාල පුවත් සඟරාවක් වශයෙන් අංකිත තාක්ෂණයට රූපාන්තරණය වන්නේය. සඟරාව සිය අවසාන වෙළුමේ දක්වා තිබුණු පරිදි එය අවසානයක් නොව නැවුම් ඇරඹුමකි. 1933 වසරේ පෙබරවාරි 17වැනිදා ආරම්භ කෙරුණු නිව්ස් වීක් පුවත් සඟරාව, ලොව වැඩිම අලෙවියක් ඇති පුවත් සඟරාව වන TIME සඟරාවේ ප්‍රධාන තරඟකරු විය. එහෙත් අවසන් කාලයේ විශාල වශයෙන් පාඩු ලබන්නට වූ නිසා සාම්ප්‍රදායික මුද්‍රිත මාධ්‍යයේ තවදුරටත් රැඳී ඉන්නවාද නැද්ද යන්න තීරණය කිරීමට ඔවුන්ට සිදු විය.

 

තොරතුරු සන්නිවේදනය ඩිජිටල්කරණය වී ඇති තරම යළිත් වරක් ලොවට හඬගා කියන සිදුවීමක් ලෙස මෙය හඳුනාගත හැක. ලෝකයේ ප්‍රවෘත්ති මාධ්‍යයන් නවීකරණය වෙමින් පවතින මොහොතක අප කරමින් සිටින්නේ කුමක්ද? තොරතුරු සන්නිවේදනයට සහ තොරතුරු දැනගැනීමට ඇති අයිතියට පැරණි ලෝකය විසින් පනවන ලද සියලු බාධක බිඳ දමමින් තොරතුරු තාක්ෂණය පෙරට යද්දී අප කරමින් සිටින්නේ කුමක්ද?

 

අප උත්සහ කරමින් සිටින්නේ Google තහනම් කරන්නටය. ප්‍රවෘත්ති වෙබ් අඩවි වාරණය කරන්නටය. අන්තර්ජාලයේ ඵලදායී උපයෝගිතාවයන් සඟවා එය මෙරට හෙළ බොදු සංස්කෘතිය විනාශ කරන්නට කුමන්ත්‍රණ දියත් වන අවකාශයක් වශයෙන් හංවඩු ගසන්නටය. 

 

ලොව පුරා තොරතුරු සහ දැනුම හුවමාරුවට ඉඩකඩ විවෘතව ඇති නිදහස් අවකාශයක් අපි අපගේ දූපත් මානසිකත්වයට පින් සිදු වන්නට ප්‍රතික්ෂේප කරන්නට උත්සහ කරමින් සිටින ජාතියක් වන්නෙමු. සැබැවින්ම, තොරතුරු හා චින්තන අවකාශය පටු කිරීම තුළින් ජනතාව තමාට රිසි අධිපති මතවාදයක සිර කර තබාගැනීමට පීඩක පාලකයන් දරන උත්සහය මේ තුළ මොනවට පිළිබිඹු වෙයි. එහෙත් රට තුළ අන්තර්ජාලය භාවිත කරන්නන්ගේ ප්‍රතිශතය 10% සිට 20% දක්වා වැඩි වන්නට ගත වූයේ වසර 5ක පමණ කෙටි කාලයක් බවද අප සිහි තබාගත යුතුය. රටක් වශයෙන් අප කැමති වුවත් අකමැති වුවත් ඩිජිටල් තාක්ෂණය විසින් තොරතුරු ලෝකය එක මිටට හකුළුවා ඇති බව අපට පිළිගැනීමට සිදු වේ. 

 

විශේෂයෙන්ම සමාජ දේශපාලන සංසිද්ධීන් හිදී තව දුරටත් ලෝකයාගේ ඇස් වසා කටයුතු කරන්නට කිසිදු රාජ්‍යයකට නොහැකිය. පාලකයන්ට හිතැති අධිපති මතවාදයම වමාරා කමින්, ජනතාව මුලා කරනසුලු ආලවට්ටම් දමමින් සැබෑ තොරතුරු වසංගන තුට්ටු දෙකේ පත්තරකාරයන්ගේ ආධිපත්‍ය බිඳ වැටෙන යුගය වැඩි ඈතක විය නොහැකිය. සත්‍යයෙහි ලොල් පාඨකයාට විවිධ පුවත් මූලාශ්‍ර තුලනාත්මකව සංසන්ධනය කර බලා තොරතුරු පසක් කරගැනීමේ අවකාශය පාලකයන් සහ ආණ්ඩු ගැති ඊනියා ජනමාධ්‍යකරුවන් එක් වී කොතෙක් පටු කරන්නට තැත් කළත් නවීන තාක්ෂණය එකී සාධාරණ අවකාශය ජනතාවට උදා කර දෙනවා ඇත.

 

තොරතුරු අවකාශය වසංගමින් ජනතාව මුලා කරන ඊනියා මාධ්‍යවේදීන් කත් අදින්නෙ රටත් සමාජයත් පෙරට ගෙන යාමට නොව ආපස්සට ඇදගෙන යාමට බව සිහි තබාගත යුතුය. මන්දයත් ජනසමාජයක් පෙරට යා යුත්තේ ඉදිරිය බලාගෙන වන අතර පසුපස බැලිය යුත්තේ පැති කණ්නාඩිවලින් පමණක් වන හෙයිනි. ඊට විකල්පව අප කරමින් සිටින්නේ සම්පූර්ණයෙන් පසුපස බලාගෙන ඉදිරියට යෑමට තැත් කිරීමයි.

Thursday, January 17, 2013

නගුට වනන්නට මිස බුරන්නට අවසර නැත.


මොහාන් පීරිස් මහතාට ලිපියක්.

 

මිනිසා තමාගේ ආරක්ෂාව පිණිස සහ දඩයම පිණිස බල්ලන් ඇති කරන්නට පටන් ගත්තේය. කලක් ගත වද්දී බල්ලා මිනිසාගේ සුරතලා බවට පත්විය. බල්ලා මිනිසා ළඟ කොතරම් සුරතල් වුනාද යත් බල්ලාට බලුකම අමතක වී ගියේය. බලුකම අමතකව ගොස් තොරතෝංචියක් නැතිව නගුට වනන්නටද දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්නටද බල්ලා පුරුදු විය. නගුට වනන්නට වනන්නට ලැබෙන සැලකුම් ද වැඩි වන්නට විය. එහෙත් බැරි වෙලාවත් බල්ලාට සිය බලුකම මතක් වී බුරන්නට පටන් ගතහොත් බල්ලාට සබ්බුව ලැබෙන්නේය. කූඩු කෙරෙන්නේය.

 

බල්ලන්ට බලුකම අමතක වූවා සේම තමාට තමා අමතකව ගොස් ගැතිකම් කරන මිනිසුන්ද අප දැක ඇත්තෙමු. එවැනි මිනිසුන් හදිසියේ නින්දෙන් අවදි වී සිය අභිමානය රැකගන්නට මොරදෙන අයුරුද අපි දැක ඇත්තෙමු. ඔවුන්ගේ ඉරණම ද බල්ලාගේ සේම කණගාටුදායක වන සැටිද අපි දැක ඇත්තෙමු.

 

 වහෙන් ඔරෝ ඉවරය. දැන් ඔහෙන් වරෝය.

 

සරත් නන්ද සිල්වාගේ ධුර කාලයේ සිටම අධිකරණය සිය ස්වාධීනත්වය පාවා දෙමින් සිටියේය. සරත් නන්දගේ නගුට වැනිල්ලේ හොඳකම නිසාම රනිල්ගේ ආණ්ඩුව ඔහුට එරෙහිව ගෙනා දෝෂාභියෝගයෙන් ඔහු ගලවාගන්නට එවක ජනාධිපතිනිය කටයුතු කළාය. ඉතාම නිර්ලජ්ජිත ආකාරයෙන් අධිකරණය ආණ්ඩුව ආරක්ෂා කරන්නට සහ පාලකයන්ගේ වුවමනාවන් සපුරන්නට කටයුතු කරනු අපි දැක ඇත්තෙමු.

 

 ශිරානි අංශුමාලාගේ ධුර කාලය ද මෙවැනි නගුට වැනීම්වලින් තොර නොවීය. මෙරට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය වන්නට ඉඩ හරිමින් 18වැනි සංශෝධනය නීත්‍යානුකූල බවට අර්ථ නිරූපනය කළාය. දෙටු පුතුන්ගේ දිව්රුම් දීම ඇය ඉදිරියේ පද්ධතියට හොරා සිදු වන්නට ඉඩ හැරියාය. වෘත්තිය සදාචාරය ගැන නොසිතා යුවති-පති යුවළම රජයේ ප්‍රධාන තනතුරු භාරගත්තෝය. මේ ඕනෑම එකක් දෝෂාභියෝගයකට සුදුසු තත්ත්වයන් සැපයූවද ඒ එකක්වත් දෝෂාභියෝගයේ අඩංගු වූයේ නැත.

 

 දිවි නැගුම පනතට ඇය එරෙහි වන්නේ ඇය සැබැවින් බලය බෙදාහැරීමක් ගැන විශ්වාසය තැබූ නිසා විය යුතුය. චන්ද්‍රිකාගේ පැකේජය සකස් කිරීමේදී ජී එල් සමග එක්ව කටයුතු කරන්නේ ඇයයි. බල්ලාට හදිසියේ බලුකම මතක් වන්නා සේ ඇයට ඇගේ වෘත්තිය වගකීම් සහ පුරුෂාර්ථයන් හදිසියේ සිහිපත් වන්නට ඇත. එතැන් පටන් ඇය නීතියේ ආධිපත්‍ය, අධිකරණයේ ස්වාධීනත්වය, සංවරණය හා තුලනය වැනි ප්‍රජාතන්ත්‍රවාදයේ බරපතළ මූලික ලක්ෂණයන් වෙනුවෙන් පෙනී සිටින්නට පටන් ගත්තාය. නගුට වැනීම අවසන් කළාය. ප්‍රතිඵල සෝචනීය විය.

 

දැන් මම කෙළින්ම ඔබතුමා අමතමි.

 

ඔබතුමා නීතිපති වශයෙන් කටයුතු කරද්දී ක්‍රියා කළ ආකාරය හොඳටම හොඳය. ආණ්ඩුවට ඕන වුනාම නුඩු දාන්නටත් ඕන නැති වුනාම නඩු ඉල්ලා අස් කරගන්නටත් සිදු වීම ඉවසා වදාළ ආකාරය විශිෂ්ටය. ඔබ නියම ක්‍රමය දන්නේ යැයි මට සිතේ. ඔබට චිරාත් කාලයක් වැජඹීමට හැකි වනු ඇතැයි යන්න මාගේ විශ්වාසයයි. ඔබට එරෙහිව එන අල්ලස් චෝදනා ගැන මොහොතකටවත් බිය නොවන්න. ඔය වේගෙටම නගුට වනාගෙන ගියොත් ඉහළම කට්ටිය ඔබ වෙනුවෙන් අල්ලස් කොමිසමම අතුගා දමන්නට වුනත් ඉඩ ඇත.

 

ඉතින් ඔබ මෙතෙක් කල් කළාක් මෙන් ඉදිරියටත් කටයුතු කරන්නට ඉඩ ලැබේවා. ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ඔබ උගෙන ඇති මාහැඟි සංකල්ප හෝ ලැජ්ජාව හෝ ආත්මානුකම්පාව හෝ ඔබේ නගුටට හරස් නොවේවා. ඔබේ නගුට සදා වැනේවා! සදා දිනේවා!


Tuesday, September 25, 2012

යුද්දෙට නැති පිරිත නිවන් දකින්නද?



යුද්දෙ ඉවරයි
දැන් නෑ බියක්
යුද බිමේ දෙසති
යුගාසන කවි බණක්
සුදුම සුදු සාදුලා දෙනමක්

පිරිත් නූල් බැඳන්
වෙඩි තියපු අත්වලින්
විරුවෝ ගසති ඝන්ටාරේ

යුද පුවත්
අහපු චැනල් එකේ
දාගෙන පිරිත්
දනෝ දෙති සාදුකාරේ

රජ්ජුරුවොත් අපේ
වෙච්චි බුදුන්ගේ පරපුරේ
බණ ඇහුවත් වෙඩි තිබ්බත්
ඇරෙනවා දොර නිවන්පුරේ

චණ්ඩාශෝකලා
දෙසන බණ ඇසී
බුදුවරු කලකිරී
ගිහින් ගිහිගෙට නික්මී!

Friday, August 3, 2012

සත්තිගුම්බ




එන්න
මේ පිරිත් පැන් ටික බොන්න
මෙන්න
මේ පුළුන් අපි ගානේ
සැතපෙන්න ඔබාගෙන කනේ

වෙඩි හඬ නොගෙන කනකට
වේදනා කෙඳිරිලි නෑසෙන්නට
සැතපෙන්න ඔබාගෙන කනේ
මෙන්න
මේ පුළුන් අපි ගානේ

හඳුනනවාද මේ ගිරව් ගී කියනා
දන්නවාද මේ ගී හඬ
එන්නේ කොහි සිටද කියා

අසපුවෙන් එන ගිරා ගී හඬද මේ
එසේ නැතිව
සිල් අරන්ද සොර මුල

Tuesday, June 5, 2012

හිරිමල් හිත - හිම සහ පෙම




දහවල ගිනිගෙන තිබුණා.


දෙපතුළත් හේමලයාගේ හිසත් අතර දුරක් නොතිබුණු තරම්.
දිය වන සියල්ල, දිය වන්නට ඔන්න මෙන්න තරමට උණුසුම්. කොල්ලුපිටිය දුම් දමමින් තිබුණා.
මම ගිනිකන වැටුණු ඇස් අමාරුවෙන් ඇරගෙන, මහා දවාලෙත් මගේ මංලකුණු තරුව සොයමින් උන්නා.
ඈ නමින් දෙකංසෙන් උපන් දහදිය බි‍ඳුවක් පවා මේ ගිනිගහන නගරය මැද්දේ මාව සිසිල් කළා.
සිහිලෙන් කිතිකවා හිරිවැට්ටවූවා.


ඒත්, දහවල තවමත් ගිනිගෙන තිබුණා.


දුම් දමන කොල්ලුපිටිය මගේ හිරිවැටුණු සියොළඟට පැරදුණා.
මුදුන් හිරු හිස්මුදුන නහවද්දී, මගේ සිත සීතලට තිබුණා.
කොන්ක්‍රීට් කණු දියවද්දී, මගේ ආලය නොසෙල්වී තිබුණා.
දහසකුත් එකක් ශරීර කොල්ලුපිටිය පසුකර යද්දී,
මමත් මගේ සිතත් ආලයත් මගේ චකිතයත් ඇය දකිනු රිසියෙන් නතර වී උන්නා.
අන්තිමේදී ඇය පැමිණියා.
කොල්ලුපිටියට සීතලත් මට ආදරේ කන්දකුත් අරන් ඇය පැමිණියා.


දහවල නිවුණා. නිවී සැනහුණා. මම ඇවිලුණා.


දෑසින් සිනා සලමින්ද, කෙහෙරොදින් සුළං මානය සොයමින්ද, උකුළෙන් තාල තබමින්ද,
හිම පළස මත පා සටහන් අඳිමින්ද පැමිණි ඇය දෙවුරේත් හිස්වැස්මේත් රැඳුණු හිමපියලි දෑතින් ගසා දැමුවා.
හිම.
අහසින් වැටුණු හිම.
ඔබ විශ්වාස නොකළාට එදා ඒ මොහොතේ මුළු කොල්ලුපිටියටම හිම වැටුණා. හිම මිදුණා.


දහවල හිමෙන් වැසී ගියා. මම ඇවිලෙමින් සිටියා.


සියල්ලෝම තම තමන්ගේ නිවෙස් හා කාර්යාලවල ගුලිගැසී සිටියා.
හිමකබා ඇඳගෙන ඉස්කෝප්ප අතින්ගත් කිහිප දෙනෙක් මහ මග හිම ඉවත් කරමින් සිටියා.
ඒ හැරෙන්නට සිටියේ ඇයත් මාත් පමණයි. සීතල කොල්ලුපිටිය අප දෙස බලා උන්නා.
අපේ සුසුම්වැල්, වාෂ්පයෙන් බර සීතල සුළඟ තව තවත් බර කළා.
ඇය කතා කළේ නෑ. මට කතා කරන්නට ඕනෑ වුනෙත් නෑ.
හිමත් වැටෙනවානම්, සිසිලත් දැනෙනවානම්, අප ළංව ඉන්නවානම්, ආදරයත් ගලා හැලෙනවානම්
එතැන වචනවලට කරන්නට තිබෙන්නේ කුමක්ද?
කිසිවක් නැහැ.


දහවල සීතල වුණා. බැරිස්ටාව උණුසුම්ව තිබුණා.


මිදුණු හිම පළස මතින්, ඇඟේ ගෑවී නොගෑවී අපි බැරිස්ටා අවන්හල වෙත පියමැන්නා.
බැරිස්ටාව ඒ වන විටත් සීතල පෙම් යුවළ කිහිපයක් උණුසුම් කරමින් උන්නා.
බැරිස්ටාවේ උණුසුම් කෝපි සුවඳ සමග ඇගේ ආදරයේ සුවඳ මුසු වුණා.
සිහින් සංගීත රාවය සමග ආදරයේ හඬ නින්නාද වුණා.
ආදරයේ හඬ.
ඔබට එය ඇසී තිබෙනවාද?
ලෝකයේ මිහිරි අමිහිරි සියලු තනුවල එකතුව. සොම්නසේත් දොම්නසේත් ගීතය.
ඔබේත් මගේත් අප සියල්ලන්ගේමත් ඇතුළුගැබෙහි ස්‍රැතිය.
සත්තකින්ම, මට ඇසුණා ඇගේ ආදරයේ හඬ.


සීතල කොල්ලුපිටිය නිහඬවම තිබුණා. මම පරමානන්දය අත්වින්දා.


ඇය නිහඩවම ආදරයේ හඬ නැගුවා.
මේ සුන්දරම මොහොත, ඉසියුම් කවක් සේ ඇගේ තොල්පෙති මත ලියා තියන්නට ඇත්නම්...,
තොල් සායම්වලින් මකාහළ නොහැකි පරිද්දට, ආදරයේ පාට ඒ තොල් මත තවරන්නට ඇත්නම්...,
කැඩපතින් බල බලා සතුටු විය හැකි තරමට, මම යනු කවරෙක්දැයි ඒ ලවන් මත සටහන් කරන්නට ඇත්නම්.
මා දෙනෙත් ඇයට ඉඟි කළා.


බැරිස්ටාව උණුසුම්ව තිබුණා. මම ඇවිලෙමින් සිටියා. ඇය සීතලව උන්නා.
ඇය මා අසලට එනතුරු මම බලා සිටියා.
මම මග බලා සිටියා.
මග බලා සිටියා.
මග බලා සිටියා.
හදිසියේම ඇය මා පසුකර ගියා. හිම දිය වුණා.
නගරය මැදින්, මල්කුඩය යට සෙවනට මුවා වී, මා දෙස නොබලාම ඇය මා පසුකර ගියා.


දහවල ඇත්තටම ගිනිගෙන තිබුණා. කොල්ලුපිටිය මැද මම තනි වී ගල්ගැසුණා.