Tuesday, June 5, 2012

හිරිමල් හිත - හිම සහ පෙම




දහවල ගිනිගෙන තිබුණා.


දෙපතුළත් හේමලයාගේ හිසත් අතර දුරක් නොතිබුණු තරම්.
දිය වන සියල්ල, දිය වන්නට ඔන්න මෙන්න තරමට උණුසුම්. කොල්ලුපිටිය දුම් දමමින් තිබුණා.
මම ගිනිකන වැටුණු ඇස් අමාරුවෙන් ඇරගෙන, මහා දවාලෙත් මගේ මංලකුණු තරුව සොයමින් උන්නා.
ඈ නමින් දෙකංසෙන් උපන් දහදිය බි‍ඳුවක් පවා මේ ගිනිගහන නගරය මැද්දේ මාව සිසිල් කළා.
සිහිලෙන් කිතිකවා හිරිවැට්ටවූවා.


ඒත්, දහවල තවමත් ගිනිගෙන තිබුණා.


දුම් දමන කොල්ලුපිටිය මගේ හිරිවැටුණු සියොළඟට පැරදුණා.
මුදුන් හිරු හිස්මුදුන නහවද්දී, මගේ සිත සීතලට තිබුණා.
කොන්ක්‍රීට් කණු දියවද්දී, මගේ ආලය නොසෙල්වී තිබුණා.
දහසකුත් එකක් ශරීර කොල්ලුපිටිය පසුකර යද්දී,
මමත් මගේ සිතත් ආලයත් මගේ චකිතයත් ඇය දකිනු රිසියෙන් නතර වී උන්නා.
අන්තිමේදී ඇය පැමිණියා.
කොල්ලුපිටියට සීතලත් මට ආදරේ කන්දකුත් අරන් ඇය පැමිණියා.


දහවල නිවුණා. නිවී සැනහුණා. මම ඇවිලුණා.


දෑසින් සිනා සලමින්ද, කෙහෙරොදින් සුළං මානය සොයමින්ද, උකුළෙන් තාල තබමින්ද,
හිම පළස මත පා සටහන් අඳිමින්ද පැමිණි ඇය දෙවුරේත් හිස්වැස්මේත් රැඳුණු හිමපියලි දෑතින් ගසා දැමුවා.
හිම.
අහසින් වැටුණු හිම.
ඔබ විශ්වාස නොකළාට එදා ඒ මොහොතේ මුළු කොල්ලුපිටියටම හිම වැටුණා. හිම මිදුණා.


දහවල හිමෙන් වැසී ගියා. මම ඇවිලෙමින් සිටියා.


සියල්ලෝම තම තමන්ගේ නිවෙස් හා කාර්යාලවල ගුලිගැසී සිටියා.
හිමකබා ඇඳගෙන ඉස්කෝප්ප අතින්ගත් කිහිප දෙනෙක් මහ මග හිම ඉවත් කරමින් සිටියා.
ඒ හැරෙන්නට සිටියේ ඇයත් මාත් පමණයි. සීතල කොල්ලුපිටිය අප දෙස බලා උන්නා.
අපේ සුසුම්වැල්, වාෂ්පයෙන් බර සීතල සුළඟ තව තවත් බර කළා.
ඇය කතා කළේ නෑ. මට කතා කරන්නට ඕනෑ වුනෙත් නෑ.
හිමත් වැටෙනවානම්, සිසිලත් දැනෙනවානම්, අප ළංව ඉන්නවානම්, ආදරයත් ගලා හැලෙනවානම්
එතැන වචනවලට කරන්නට තිබෙන්නේ කුමක්ද?
කිසිවක් නැහැ.


දහවල සීතල වුණා. බැරිස්ටාව උණුසුම්ව තිබුණා.


මිදුණු හිම පළස මතින්, ඇඟේ ගෑවී නොගෑවී අපි බැරිස්ටා අවන්හල වෙත පියමැන්නා.
බැරිස්ටාව ඒ වන විටත් සීතල පෙම් යුවළ කිහිපයක් උණුසුම් කරමින් උන්නා.
බැරිස්ටාවේ උණුසුම් කෝපි සුවඳ සමග ඇගේ ආදරයේ සුවඳ මුසු වුණා.
සිහින් සංගීත රාවය සමග ආදරයේ හඬ නින්නාද වුණා.
ආදරයේ හඬ.
ඔබට එය ඇසී තිබෙනවාද?
ලෝකයේ මිහිරි අමිහිරි සියලු තනුවල එකතුව. සොම්නසේත් දොම්නසේත් ගීතය.
ඔබේත් මගේත් අප සියල්ලන්ගේමත් ඇතුළුගැබෙහි ස්‍රැතිය.
සත්තකින්ම, මට ඇසුණා ඇගේ ආදරයේ හඬ.


සීතල කොල්ලුපිටිය නිහඬවම තිබුණා. මම පරමානන්දය අත්වින්දා.


ඇය නිහඩවම ආදරයේ හඬ නැගුවා.
මේ සුන්දරම මොහොත, ඉසියුම් කවක් සේ ඇගේ තොල්පෙති මත ලියා තියන්නට ඇත්නම්...,
තොල් සායම්වලින් මකාහළ නොහැකි පරිද්දට, ආදරයේ පාට ඒ තොල් මත තවරන්නට ඇත්නම්...,
කැඩපතින් බල බලා සතුටු විය හැකි තරමට, මම යනු කවරෙක්දැයි ඒ ලවන් මත සටහන් කරන්නට ඇත්නම්.
මා දෙනෙත් ඇයට ඉඟි කළා.


බැරිස්ටාව උණුසුම්ව තිබුණා. මම ඇවිලෙමින් සිටියා. ඇය සීතලව උන්නා.
ඇය මා අසලට එනතුරු මම බලා සිටියා.
මම මග බලා සිටියා.
මග බලා සිටියා.
මග බලා සිටියා.
හදිසියේම ඇය මා පසුකර ගියා. හිම දිය වුණා.
නගරය මැදින්, මල්කුඩය යට සෙවනට මුවා වී, මා දෙස නොබලාම ඇය මා පසුකර ගියා.


දහවල ඇත්තටම ගිනිගෙන තිබුණා. කොල්ලුපිටිය මැද මම තනි වී ගල්ගැසුණා.